https://www.facebook.com/share/p/1Ak1QUvzzG/කතෝලික ජනවන්දනා වසර
අපේ සාමාන්‍යය එදිනෙදා වසරක සෘතු 4 ක් (ශ්‍රී ලංකාවේ නොමැති වුවත්), මාස 12 ක්, සති 52 ක්, දින 365 ක්, නිවාඩු, විශේෂ උත්සව දින, සිහිවටන/ සැමරුම් දින වලින් සමන්විත වෙනවා වගේ, කතෝලික ජනවන්දනා වසරේත් මේ වගේ විශේෂාංගයන් දක්නට ලැබෙනවා.
ජනවන්දනා වසර ආගමන සමය, නත්තල් සමය, චතාරික සමය, පාස්කු සමය සහ සාමාන්‍යය සමය ලෙස කොටස් වලට බෙදෙනවා. ජනවන්දනා වසර ආරම්භ වන්නේ ආගමන සමයේ පළවන ඉරිදායි. මෙසේ ආරම්භ වන වසර අවසන් වන්නේ ක්‍රිස්තු රාජ මංගල්‍යයත් සමඟයි.
කතෝලික ජනවන්දනා වසර මේ ආකාරයට සකස් කර තිබෙන්නේ ජේසුස් වහන්සේ ගේ ජීවිතය, එනම් උන්වහන්සේ ගේ පිළිසිඳ ගැනීම, උපතේ සිට උත්ථාන වීම දක්වා සහ උන්වහන්සේ ගේ නැවත පැමිණීම දක්වා අවස්ථා හොඳින් තේරුම් ගැනීමටයි.
ජනවන්දනා වසර විසින් දිනයට නියමිත බයිබල් කියවීම ලබාදෙන අතර, ඒ ඒ සමයේ ඇතුලත් වන විශේෂ මංගල දිනයන් සහ සිහිවටන දිනයන් ද සඳහන් කරනවා. ජනවන්දනා වසර අපට සන්නිවේදනය කරන තව දෙයක් වන්නේ ඒ ඒ ජනවන්දනා මෙහෙයන් හීදී පියතුමා පැළඳිය යුතු පූජක ඇඳුම් වල වර්ණයන්. එක් එක් කාලයන් හී වර්ණයන් මෙසේයි. ආගමන සමය - දම්, නත්තල් සමය - සුදු/රත්‍රන්, චතාරික සමය- දම්, පාස්කු සමය - සුදු/රත්‍රන් සහ සාමාන්‍යය සමය - කොළ. ඊට අමතරව දිනට අදාල ශුද්ධවන්තයාට අනුව, එනම් සාමාන්‍යය ශුද්ධවන්තයනට සුදු පැහැයද, ප්‍රාණපරිත්‍යාගීවරුනට රතු පැහැය ලෙසද අදාල පාට වෙනස් වෙනවා.
ජනවන්දනා චක්‍රය වසර 3 කින් සමන්විත වෙනවා. වසර 'A' සමන්විත වන්නේ මැතිව් සුභාරංචියෙන් වන අතර, වසර 'B' මාක් සුභාරංචියෙන් ද, වසර 'C' ලූක් සුභාරංචියෙන් ද සමන්විත වෙනවා. මේ අතර ජුවාම් සුභාරංචිය වසර පුරාවටම ද විශේෂයෙන් පාස්කු සමයේ දී භාවිතා වෙනවා.
ආගමන සමය - Advent (දම්)
ජනවන්දනා වසර ආරම්භ වන්නේ සති 4 කින් සමන්විත වන මෙම ආගමන සමයෙනුයි. මෙම කාලයේ දක්නට ලැබෙන විශේෂ අංගයක් වන්නේ ඉටිපහන් 5 කින් සමන්විත වන ආගමන මල්කළඹ යි. සෑම සතියකම ඉටිපහන බැඟින් දල්වන අතර, මැද තිබෙන සුදු ඉටිපහන දල්වන්නේ නත්තල් දිනයේදී යි.
මෙම කාලයේදී පියතුමා ගේ පූජා ඇඳුමේ වර්ණය වන්නේ දම් පැහැයයි. මෙම කාලය ජේසුස් වහන්සේ ගේ පැමිණීම සඳහා වන බලාපොරොත්තුවේ කාලයයි. ආගමන සමයේ තුන්වන ඉරුදින මෙම කාලයේ අඩක් ගෙවුණ බව හඟවන්න රෝස පැහැය භාවිතා කරනවා. රෝස පැහැයෙන් ප්‍රීතිය සංඛේතවත් කෙරෙන්නේ නත්තල සඳහා වන කාලයේ අඩක් ගෙවා නිම කර ඇති බව හැඟවීමටයි.
නත්තල් සමය - Christmas (සුදු)
මෙම කාලයේ ජේසුස් වහන්සේ ගේ උපත සිහි කරන අතර, ශුද්ධ වූ පවුලේ මංගල්‍යය, දේව මාතා මංගල්‍යය සහ රජතුන් කට්ටුවේ මංගල්‍යයන් ද මෙම කාලයේ සමරණු ලබනවා. මෙම කාලයේ දී දේවස්ථාන, නිවෙස්, නත්තල් සැරසිළි වලින් අලංකරණය වී ඇති බව දකින්න පුළුවන්.
නත්තල සඳහා තෝරාගෙන තිබෙන්නේ සුදු පැහැයයි. ඒ වගේම සුදු පැහැයෙන් නව උපතක පිවිතුරු භාවය සංඛේතවත් කෙරෙනවා.
සාමාන්‍යය සමය - Ordinary Time (කොළ)
නත්තල් සමය සහ චතාරික සමය අතර කාලය තුළ දිව්‍ය පූජාවේ කියවීම් සඳහා යොදා ගන්නේ අපෝස්තුළු වරුන් තෝරා ගැනීම, ඉගැන්වීම්, සුවකිරීම් වැනි ජේසුස් වහන්සේ ගේ ප්‍රසිද්ධ ජීවිතයේ මුල් සිදුවීම්. අළු බදාදා ට පෙර දින අඟහරුවාදා අවසන් වන සාමාන්‍යය සමයේ පළමුවන කොටස නැවතත් පාස්කු සමයෙන් පසුව ඇරඹේ.
සාමාන්‍යය සමය වගාවේ සහ ඵල දැරීමේ කාලය වගේම තම තමාගේ විශ්වාසයේ ස්ථීර වීමේත් කාලයයි. කොළ පැහැය පරිසරයේ ජීවයේ පාටයි. මෙම ජීවයේ කාලය පුරාවටම ජේසුස් වහන්සේ ගේ ප්‍රසිද්ධ ජීවිතයේ සිදුවීම් දිව්‍ය පූජාව තුළ දී අසන්නට ලැබේ.
සාමාන්‍යය සමයේ කොටස් 2 න් දිගම කොටස වන්නේ පාස්කු සමයෙන් පසුව ඇරඹෙන කොටසයි. එය ක්‍රිස්තු රාජ මංගල්‍යයත් සමඟ අවසන් වෙනවා.
චතාරික සමය - Lent (දම්)
අළු බදාදායින් ඇරඹෙන චතාරික කාලය මහා බ්‍රහස්පතින්දා දක්වා දිව යනවා. දින 40 කින් සමන්විත චතාරිකය එක්වරු ශීලයේ සහ මර්ධන ක්‍රියාවේ කතෝලිකයන් නිරත වන කාලයක්. මෙම කාලයේ වර්ණය දම් පැහැය වන අතර කුරුසියේ පාදනමස්කාරය මෙම කාලයේ දැකිය හැකි විශේෂ අංගයක්.
අළු බදාදා දිනයේ නළල මත අළු තවරා ගෙන කතෝලිකයන් තම පාප වලට මනස්ථාපනය වන ගමන් සිහි කරන්නේ පසින් සෑදුණු සැම දෙනෙක්ම නැවතත් පසටම හැරෙන බවයි.
ශුද්ධවූ සතිය - Holy Week
ශුද්ධවූ සතිය ආරම්භ වන්නේ ගොබ් ඉරුදිනෙනි. මෙම සතියේ ගොබ් ඉරුදින සහ මහා සිකුරාදා දින වර්ණය වන්නේ රතු පැහැය වන අතර මහා බ්‍රහස්පතින්දා සහ පාස්කු ඉරුදින (ආලේලූයා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව) වර්ණය වන්නේ සුදු පැහැයයි.
මෙම සතිය තුළ ජේසුස් වහන්සේ ගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරනවා.
පාස්කු සමය - Easter (සුදු/ රත්‍රන්)
දින 50 කින් සමන්විත වන පාස්කු සමය, ශුද්ධෝත්මාගමන (පෙන්තකෝස්ත) මංගල්‍යයත් සමඟ අවසන් වනවා. ඒ වගේම ජේසුස් වහන්සේ ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය පාස්කු ඉරුදින සිට දින 40 ක් ගත වූ තැන සමරණවා.
කතෝලික ජනවන්දනා වසරේ විශේෂිතම කාලය වන මෙම කාලය තුළ උත්ථානයෙන් පසු ජේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් පිළිබඳව අවධානය යොමු කරනවා. මෙම කාලයේ වර්ණය ලෙස සුදු හෝ රත්‍රන් පැහැය යොදා ගන්නවා.
පාස්කු සමය අවසන් කරන පෙන්තකෝස්ත මංගල දින වර්ණය වන්නේ රතු පැහැයයි. මෙම පෙන්තකෝස්ත මංගල දිනයට පසුව සාමාන්‍යය සමයේ දෙවන කොටස ආරම්භ කෙරෙනවා.


